හිත හදාගන්නට නම්... - Bhawa Nirodha - භව නිරෝධ

Latest

දහම් ලිපි, ධර්මදේසනා,වන්දනා ගාථා, උපුටා ගැනීම්,යතිවර දේශනා, සදහම් ලිපි, ත්‍රිපිටක ධර්මය, භාවනා,

දහම් ලිපි, ධර්මදේසනා,වන්දනා ගාථා, උපුටා ගැනීම්,යතිවර දේශනා, සදහම් ලිපි, ත්‍රිපිටක ධර්මය, භාවනා,

Thursday, May 13, 2021

හිත හදාගන්නට නම්...

 


අපි හැමෝටම උවමනා කරන්නේ හිත හදාගන්නයි. හිත හදා ගැනීම කියන්නෙ කිසිදු ගැටීමක්, පසුතැවිල්ලක්, දුකක්, දොම්නසක්, වාවාගත නොහැකි බවක්,නැතිව ඉතාම සාමයෙන් සතුටින් සැනසීමෙන් ජීවිතය ගත කරන්නයි හැමෝට උවමනා වෙන්නේ. 
නමුත් හැමෝටම තියෙන  ප්‍රශ්නයත් ඔය දේ නැතිකමයි. අපට බොහෝ වෙලාවල්වලට හිතේ කිසිදු සතුටක් නැහැ. හිත දුකින් පිරිලා. එහෙම නැත්නම්  කෝපයෙන් ද්වේශයෙන් පිරිලා. එහෙමත් නැත්නම් පාලුව තනිකම හුදෙකලාව නිසා දුකින් පිරිලා. ඒ නිසා අපි කල්පනා කරනවා අපේ ජීවිතවල කිසිම සතුටක් සැනසීමක් සාමයක් නැහැ කියල. ධර්මයට අනුව එහෙම වෙන්නේ ඇයි? ඒ තත්වයෙන් මිදෙන්නේ කොහොමද කියා මොහොතක් සිතා බලමු. හිත හදාගන්න කලින් හිතේ ස්වභාවය මොකක්ද කියා තේරුම් ගැනීම ඉතාම වැදගත්. හිතට වරදින්නේ කොහොමද කොතැනද කියා විමසා බැලීම අතිශයින් වැදගත්.
දිසො දිසං යං තං කයිරා - වෙරී වා පන වෙරී නං
මිච්ඡාපණීහිතං චිත්තං    - පාපියො නං කතො කරෙ
-ධම්ම පදය-

හොරක් තවත් හොරෙකුට යම් නපුරක් කරයිද, වෛරක්කාරයෙක් තවත් වෛරක්කාරයෙකුට නරකක් නපුරක් කරයිද, මේ ලෝභ ද්වේශ මෝහ පිරුනු පාපී හිත අර සියලු නපුරු අවැඩකම් වලට වැඩිය තමාට පාපි නරක නපුරම සිදුකරයි. 


ඔන්න තැන. නොමනා අයුරින් භාවිතා කරන සිත තමයි ඒ සියලු ගැටීම්, පසුතැවිලි, දුක්, දොම්නස්, වාවාගත නොහැකි වේදනාවන්,සාමය නැතිබව, සැනසිල්ල නැතිබව අපට ගෙන දෙන්නේ. ලෝකයේ නියාම ධර්ම පහෙන් චිත්ත නියාමය කියන්නෙත් ඔය දේට. එතකොට නියාම ධර්ම වලින් පැමිනෙන ප්‍රතිඵල කාටවත් වෙනස් කරන්න බැහැ. නියාම ධර්මයට අයත් 
ඵලය මට එපා කියා ප්‍රතික්ෂේප කරන්නත් බැහැ. බීජ නියාමයට අනුව අඹ බීජයකින් අඹ පැලයක් හැදුනාම මට අඹ එපා මට ඕනෙ ඇපල් පැලයක් කියල යාඥා කලාට ඇපල් පැලයක් ලැබෙන්නෙ නැහැ. ඒ තමයි බීජ නියාමයේ ප්‍රතිඵලය. ඍතු නියාමය ක්‍රියාත්මක වෙලා ගිම්හානය අවසන් කරමින් ශීත කාලය ආවාම මට ශිතල එපා කියල යාඥා කලාට වැඩක් නැහැ. ඍතු නියාමයේ ස්වභාවයම එය නිසා. අන්න ඒ වගේ චිත්ත නියාමය හෙවත් සිතේ න්‍යායය අනුව වැඩිපුර තිබෙන්නේ ලෝභ ද්වේශ මෝහ සහිත අකුසල් සිත් නම් ඵලය තමයි අසන්තෝශය, දුක,වේදනාව, ක්‍රෝධය වෛරය මානය පසුතැවීම දොම්නස ආදිය. ඒක වෙනස් කරන්න බැහැ. වෙනස් කරනවා නම් එයට මුල් වූ හේතුව වන සිතේ ස්වභාවය වෙනස් කල යුතුමයි. 

සිත අකුසලයේ පවතින අවස්ථා 
පිලිගන්නට අකමැති උනත් සත්‍යය කාරණය නම් සිත වැඩිම කාලයක් පවතින්නේ අකුසලයේ බවයි. සිත දියුනු නොකල, සිත එකඟ නොකල, සිහිය නාවැඩූ ඕනෑම අයෙකුගේ සිත පවතින්නේ අකුසලයේමයි. එය කෙනෙකුට තේරෙන්නෙ නැහැ සිත අකුසලයේ පවතින බවක්. ඒ කෙනා සිතන්නේ කාටවත් වරදක් නොකර පාඩුවේ නිහඬව ජීවත්වන බවයි. නමුත් අකුසලය වැඩෙන්නේ තමන්ටත් නොදැනී හොර රහසේමයි. 
මොනවාද ඒ අකුසල් සිත්.
1.කාමඡන්දය
2.ව්‍යාපදය
3.උද්ධච්ඡ කුක්කුචය
4.විචිකිච්ඡාව
5.ථින මිද්ධිය.

මේ අකුසල සිත් වලට කියනවා නීවරණ ධර්ම කියා. මේ නීවරණ ධර්ම පැමියාම හිතට සැනසුමක් නැහැ.නිදහස් නෑ. සතුටක් නැ.පංච නීවරණ ධර්මයන් අතර පළමු වැන්නවූ කාමඡන්දය කියන්නේ පංච කාමයන් සහිත ලෝකය කෙරෙහි පවතින කැමැත්ත හෙවත් ආශාවටයි. පඤ්චකාම කියන්නේ රූප ශබ්ද ගන්ධ ආදී අරමුණු නිසා හිතේ පවතින සංකල්පමය 
වශයෙන් ඇතිවන කැමැත්ත ඇල්මයි. රූප ශබ්ද ගන්ධ වල කාමය නැහැ. ඒවා සම්බන්ධයෙන් හිතේ ඇතිවන විවිධ සංකල්ප වලයි කාමය හෙවත් ඇලීම තියෙන්නෙ. ඒ වගේම විෂම ලෝභය කියන කාරණයද මෙතැනට අදාල වෙනවා. විෂම ලෝභය කියන්නෙ අන්සතු දේවල් වලට තමාගේ සිතේ ඇතිවන ආශාව සහ කැමැත්තට. ඒවා තමා සන්තක කරගැනීමට ඇතිවන විතර්කමය සංකල්ප වලට. මේ කාමඡන්ද සිතක් ඇතිවුවහොත් එය යටපත් කරගැනීම පහසු නැහැ. මක්නිසාද ඒ සෑම දෙයක් පිලිබඳවම ආශ්වාදයෙන් සිත ඇලිල බැඳිල තියෙනව නිසා. එතකොට එය සිතේ එකඟතාවයට මෙන්ම හිතේ සැනසිල්ලටද මහත් බාධාවක් වෙනවා. 


මනස තුල රූප ශබ්ද ගන්ධ ආදිය කෙරෙහි ගැටීම ව්‍යාපාදයයි. ගැටෙන්නේ සිතෙන් ඇලුන බැඳුන දේ නොලැබෙන විටයි.එනම් කාමඡන්දය තුල තිබෙන දේවල් තමා සන්තක නොවූ විට, තමාගේ කරගත නොහැකි වූ විට හෝ ඒවා අනිත්‍ය ස්වභාවයට පැමිණ තමාගෙන් දුරස්ව තමාට අහිමිව යන විටදි ව්‍යාපාදය පුද්ගල සන්තානය තුල හටගනියි. ව්‍යාපාදය වනාහි ද්වේෂය හා සම්බන්ධ අකුශල ධර්මයකි. එය මෛත්‍රි විතර්ක වලට ප්‍රතිවිරුද්ධ වූවකි. එසේම එය මනසින් නැග එන ද්වේශය, කෝපය, තරහාව, වෛරය, ක්‍රෝධය, පලිගැනීම,විහිංසාව,දුක,ශෝකය,ආදී සියලු ගැටීම් සහිත මනෝභාවයන් නියෝජනය කරයි. ව්‍යාපාද සිතක් පවතින අවස්ථාවද සිතේ එකඟතාවයට මෙන්ම හිතේ සැනසිල්ලටද මහත් බාධාවක් වෙනවා. 

උද්ධච්ච කියන්නෙ මානසිකව නොසන්සුව වික්ෂිප්තව පවතින ස්වභාවයයි. කුක්කුච්ච යනු  පසුතැවිලි සහගත භාවය නියෝජනය කරයි.සිතේ පවතින චංචල බව මෙන්ම සෑම විසිරෙන එකතැනක නොපවතින නොපැහැදිලි ස්වරූපයද උද්ධච්ච යන්නෙන් අදහස්වේ. යමෙක් පසුතැවිලි වන්නේ කලයුතු දේ නොකර සිටීම සහ නොකල යුතුදේ කිරීම නිසා බව පැහැදිලියි. එසේ නම් පසුතැවිලිවීම තුලම ඇත්තේ අසිහිය විසින් මෙහෙයවනු ලැබ තමා විසින් කරනු ලැබූ දේ  සම්බන්ධයෙන්මයි. එතකොට උද්ධච්ච කුක්කුච්ච ස්වභාවය කාමඡන්දය නිසාද ව්‍යාපාදය නිසාද පැමිනෙයි.ඒ කාරනා දෙකෙන්ම සිත එකඟ නොවී සෑම විසිරෙන අතර ඒ සෑම තැනකම 
පසුතැවිල්ල අපව දවමින් නැග එයි. එබඳු සිතක් පවතින අවස්ථාවද සිතේ එකඟතාවයට මෙන්ම හිතේ සැනසිල්ලටද මහත් බාධාවක් වෙනවා. 

විචිකිච්ඡා කියන්නෙ සැකයට. එනම් බුදුන් කෙරෙහි සැක කිරීම ය, බුදුන් වහන්සේ සැබෑ විට ම සියල්ල දන්නවාද? නැති ද?  සතර මාර්ග සතර ඵල නිර්වාණ සහිත නවලෝකෝත්තර ධර්මය සත්‍යයක්ද? නැතිද? තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්මය සත්‍ය ද?  සංඝයා කෙරෙහි සැක කිරීම වශයෙන් අෂ්ටාර්‍ය්‍යපුද්ගල සංඝරත්නයක් ඇත ද? නැත ද? සුපටිපන්නතාදි ගුණවලින් යුක්ත  පිරිසක් ඇත ද? නැත ද? යනාදීන් සැක කිරීම ය. ශීලය කෙරෙහි සැක කිරීම යනු ශීල සමාධි ප්‍ර‍ඥා සහිත ත්‍රි ශික්ෂාව සත්‍ය වශයෙන් ම සංසාර දුඃඛයෙන් එතර කරවන ප්‍ර‍තිපත්තියක් ද? නැත ද? කියා ඇති වන සැකය ය. අතීත ස්කන්ධයන් කෙරෙහි සැක කිරීම තුල තමා අතීතයේ දී 
එක්තරා පුද්ගලයකු වශයෙන් සිටියේ ද? නො සිටියේ ද? කියා ඇතිවන සැකය ය. අනාගත ස්කන්ධයන්  ගැන සැක කිරීම  යනු අනාගතයෙහි නැවත නැවතත් උපදින්නෙම් ද? උපදින්නේ නැතිද? කියා ඇති වන සැකය ය. පටිච්ච සමුප්පාදය ගැන සැක කිරීම ය යනු මේ වර්තමාන ස්කන්ධ පඤ්චකය අතීත වූ අවිද්‍යා සංස්කාරාදි හේතූන් නිසා ඇති වූවක් ද? නැත ද? යනාදීන් හටගන්නා සැකය ය.

ථිනමිද්ධිය කියන්නෙ ඉහත විස්තර කල කාරනා මනස තුල හටගැනීම නිසා ඇතිවන සිතේ සහ කයේ උදාසීනබව,අප්‍රාණිකබව,සහ නිද්‍රාශීලී බවටයි. අර විදියට මනස අවුල් උනාම,වියවුල් උනාම, සිත හතර අතේ ඉබාගාතේ යනවිට, එකඟබවක් නැතිවිට කිසියම්ම හෝ දෙයක් කරගන්නට බැරිව නිදිමත හෝ අලසබව ඇති වෙනවා. මේක තමයි පාලුව හුදෙකලාව තනිකම කියා අප වරදවා වටහාගන්නෙ. මේ අනුව හිත හදාගන්නට නොහැකි අවස්ථාවන් වලට හේතු ගැඹුරින් විමර්ශනය කල යුතු වෙනවා. ඔය නීවරණ සිත් පහම අයත් වන්නේ ලෝභ ද්වේශ මෝහ කියන අකුසල් මූලයන් තුනටයි. දැන් ඔබ හේතුව දන්නවා. මේ හේතූන් මනාව අධ්‍යනය කලහොත් ඔබට ඔබේ සිතේ ස්වභාවය වටහා ගන්නට යම් පිටුවහලක් ලැබේවි. අන්න ඒ නිසා බුදුරජානන් වහන්සේ වදාරණවා
ඵන්දනං චපලං චිත්තං - දුරක්ඛං දුන්නිචාරයන්
උජුං කරොති මෙධාවි - උසුකාරො ච තෙජනං
-ධම්ම පදය-

දක්ෂ වඩු කාර්මිකයෙක් ලීයෙහි ඇදය හරින්නාක් මෙන් බුද්ධිමත්වූ සිහිය ඇති කෙනා, රැක ගැනීමට ඉතාම අපහසු නොයෙක් අරමුණු කරා ඇදී යන්නාවූ මේ චපල සෙලවෙන සිත ඍජුභාවයට පත්කරගනියි. නැවත සාදාගනියි.
සිත තේරුම් ගෙන තමාව තේරුම් ගැනීම - මෙතැනින් කියවන්න

පෘතග්ජන ස්වභාවය තුල සිත හදාගන්නෙ කොහොමද 
පෘතග්ජන මනසෙහි ස්වභාවය තමයි හිත හදාගැනීමට නැවත නැවත දුකෙහිම ඇද වැටීම. එය හරියටම පිපාසයට ලුණු වතුර බොනවා වගේ වැඩක්. සැප හොයන්නෙ සැනසීම හොයන්නෙ දුක ඇති තැන් වලින්මයි. ඒක හරියට වඳුරා අත්තක් අතහැරල තවත් අත්තක එල්ලෙනවා වගේ 
වැඩක්. දුක නැති කරන්න හිතාගෙන සැප ලබන්න හිතාගෙන නැවත නැවත කාමයන්ම හොයනවා. කාමයන් අල්ලා ගන්නා තරමටම දුකද අල්ලාගන්නට සිදුවෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අල්ලා ගැනීම් සියයක් තියෙනවා නම් දුක් වේදනාද සියයක්ද තිබෙනවා කියා. ඒ  නිසා තමයි
“නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩප“ ආදියෙන් වැළකී සිටින්නට අට්ඨාංග උපෝසථ ශීලයේදී පුහුණු කරනු ලබන්නේ. 
පෘතග්ජන ස්වභාවය සහ විතර්කය තමයි දුක දොම්නස පාලුව නැති කරගෙන හිත හදාගන්න නම් නාට්‍ය, චිත්‍රපට, ගීත ගායනය, ගීත ඇසීම, උසුලු විසුළු ආදිය පිරුනු වැඩසටහන් වල යෙදීම, හිස් වචනය ඇසුරු කිරීම,හිස් වචනය කීම, හිස් ගමන්බිමන් යාම, හිස් උත්සව සාද පැවැත්වීම. නමුත් දුක නිවෙයිද ඒවා තුලින්? හිත හදාගන්න පුලුවන්ද ඒවා වලින්? බැරි නැහැ.පුලුවන්. හැබැයි ඉතාම සුළු කාලයකට. තිබහට ලුණු වතුර බිව්වා වගේ නැවත නැවත පිපාසය දුක වේදනාව ඇති කරවීම  පමණයි ඉතිරි වෙන්නේ.
වාරිජො ව ථලෙ ඛිත්තො - ඔකමොකත උබ්භතො
පරිඵන්දතිනං චිත්තං        - මාරධෙය්‍යං පහාතවෙ
-ධම්ම පදය-

මේ හිත හරියට දියෙන් ගොඩට ගත් මාළුවෙක් වගේ. වතුර ඉල්ලමින් ඌ ගැහෙනවා.ඒ වගේ මේ හිත හැම තිස්සෙම විවිධාකාර කාම අරමුණු සහ අකුසල් අරමුණු සඳහා සැලෙමින් පවතිනවා. සංසාර චක්‍රය තියෙන්නෙම මේ අරමුනු විතර්ක වල. ඒ නිසා සිහියෙන් මේ අරමුනු කරා ඇදෙන්නට මාරාවේශයෙන් සැලෙන හිත එකග කරගත යුතුමයි. 

කොහොමද හිත එකග කරගන්නෙ?
සිහිය.යෝණිසෝ මනසිකාරය.සමථය.ධර්ම ශ්‍රවණය. මේ කිසිම දේකට හිත කැමති නැහැ. ඒ නිසා මේ කාරණා ටික මනස තුලට ගැනීමට ඉතාම අසීරුයි. හිත කැමතිම කාමයන්ට. නමුත් කාමයන්ගෙන් ලැබිය නොහැකි සුවයක් සැපක් කාමයන් අතහැරීමෙන් ලැබිය හැකි බවට ඔබටම ප්‍රත්‍යක්ෂ කරගන්නට හැකියි ඔය කාරනා ටික තමන් තුල නිරන්තරයෙන් ඇති කර 
ගතහොත්. ඒ සඳහා “විරමණය“ හෙවත් වැළකී සිටීම මුල සිට හුරු කරගත යුතුයි. විරමණය යනු කුසල් වලට තවත් නමක්. ඒ නිසා ඒ කාරණය හොඳින් ධාරනය කරගත යුතුයි. විරමණය වඩන කෙනාට සීලය වැඩෙන්නෙ ඉබේටමයි. කුසලය කියන්නෙ හැකියාවට කියන තවත් 
නමක්. මෙතැනදි හැකියාව යනුවෙන් අදහස් කරන්නේ නොකල යුතු දේ නොකර සිටීමට ඇති හැකියාවයි. 

කුමක්ද නොකල යුතු දේ?
1.ප්‍රාණඝාතය 2. සොරකම 3. වැරදි කායික ආශ්වාදය 4. බොරුකීම 5. කේලාම් කීම 6. හිස් වචන කීම 7. නරක නපුරු කැත නින්දිත පරුෂ වචන කීම 8. විෂම ලෝභය 9. ව්‍යාපාදය 10.මිත්‍යා දෘශ්ඨිය
මෙන්න මේ කාරණා දහය කිරීමෙන් වැලකී සිටීම විරමණය හෙවත් දස කුසලය වෙනවා. පෘතග්ජන ස්වභාවය තුල සිත හදාගන්නෙ මේ කාරනා දහයෙහි හෝ කීපයක යෙදීමෙන්. ඒවා කිරීමෙන් හිත හැදේවි සැපක් සතුටක් ලැබේවි කියා හිතන සිතිවිල්ලමයි මිත්‍යා දෘශ්ඨිය වන්නේ.  එතකොට කාමඡන්දයට යටවෙනවා. එහෙම නැත්නම් ව්‍යාපාදයට යටවෙනවා. එතැනම නීවරණ ධර්ම ඇවිත් හිත වහගන්නවා. මේ කාරණා දහයෙන් වලකින කෙනා සතර අපායෙන් පවා ගැලවෙනවා. එහෙම නැතිව ලක්ෂ ගනන් වියදම් කොට කොපමණ දානය දුන්නත්, මල් කඳු ගනන් පූජා කලත්, විවිධ පුදපූජා කොපමණ කලත්, ඊට අදාල පිණ ලැබේවි. නමුත් 
විරමණය නම්වූ කුසලය තුල සිත නිවී සැනහී නැත්නම් ඒ කොපමණ පින් තිබුනත් මරණයෙන් මතු ඉපදෙන්නේ කොතැනදැයි කීම සිතාගන්නටවත් නොහැකි වේවි. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාලේ “ මහණෙනි මම ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව අගය කරමි“ කියා.  බුදුරජානන් වහන්සේගේ මුළුමහත් ධර්මයම තිබෙන්නේ ප්‍රතිපත්ති පූරණය කරමින් යන ගමනකට. ප්‍රදර්ශනාත්මක ආමිස පූජාව ලෝකයේ සියලු ආගම් වල තිබෙන පොදු දෙයක්. බුදුවදන ආගමක් නොව දර්ශනයක් සහ මාර්ගයක් බව වටහාගත් කෙනාට ගමන ඉතාම පහසුයි. 

හිත හදා ගැනීමට කුමක් හුරුකල යුතුද?
අවබෝධයෙන් අතහැරීමයි කල යුතු දේ වන්නේ. මොනවද අවබෝධයෙන් අතහරින්න කියන්නෙ.1.ප්‍රාණඝාතය 2. සොරකම 3. වැරදි කායික ආශ්වාදය  4. බොරුකීම 5. කේලාම් කීම 6. හිස් වචන කීම 7. නරක නපුරු කැත නින්දිත පරුෂ වචන කීම 8. විෂම ලෝභය 9. ව්‍යාපාදය 10.මිත්‍යා දෘශ්ඨිය යන දස අකුසලය අතහරින්න සිත හුරු කරන්නට උවමනායි. ත්‍රිලක්ෂණය පිලිබඳව මනා වැටහීමක් ඇති කරගෙන, හේතුඵල දහම මැනවින් අසා දැනගෙන, ප්‍රත්‍යවේක්ෂාව හුරුකොට, සිහියෙන් වීරියෙන් ජීවිත පැවැත්ම ගෙන යායුතු වෙනවා. කාමලෝකයේ ජීවත්වන නිසා කාමයන් ඇසුරු කරන්නට සිදුවීම වළකන්නට නොහැකි උනත්, කාමයන් කෙරෙහි ඇලීම ගැටීම මුලාවීම හැකි තරම් අවම කරගෙන සිත සමාධිමත් කරගෙන හැකි හැම විටම කිසියම් ශීලයක පිහිටා සමථය වැඩිය යුතුයි. බුදුගුණ, මෛත්‍රිය, ආනාපාන සතිය ආදී සමථ භාවනාවක යෙදී නීවරණ යටපත් කරගෙන යෝණිසෝ මනසිකාරයෙන් වීරියෙන් සිහියෙන් සතර සතිපට්ඨානය තුල සිටියොත් සැනසිල්ල නිරන්තරයෙන්ම තමන් වෙත 
පැමිනේවි. 

ඔබගේ අදහස් උදහස් මෙන්ම ධර්මය සම්බන්ධ ගැටලු පහත comment section වල පළකරන ලෙසට කාරුණිකව ඉල්ලා සිටින අතර, “මෙම අඩවිය මෙතැනින් follow කරන්න“ යන තැනින් ඔබේ අනුග්‍රහය සැලසීමෙන් මෙම දහම් බ්ලොග් අඩවිය අඛන්ඩව ගෙනයාමට දායක 
වන්න. තෙරුවන් සරණයි.

ඡායාරූප අනුග්‍රහය
01- https://www.inc.com/jayson-demers/
02 - https://bestlifeonline.com/
03 - https://www.freepik.com/
04.https://www.telegraphindia.com
05. https://www.artofliving.org/

No comments:

Post a Comment